ජාතික පුවත්, ව්‍යාපාරික පුවත් » වරිපනම් නොගෙවන අයගේ දේපොළ පවරාගන්නැයි පළාත් පාලන ආයතන වලට නියෝගයක්

Game description:

tax

වරිපනම් නොගෙවන පුද්ගලයන්ගේ දේපොළ පවරාගන්නා ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා, පළාත් පාලන ආයතන වල ලේකම්වරුන්ට සහ කොමසාරිස්වරුන්ට උපදෙස් දී තිබේ.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් සහ කොමසාරිස්වරුන් සමග ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධානලේකම් ගාමිණී රාජකරුණා මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහ ඌව පළාත් සභාවේ නිලධාරීන් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, “මම අද මේ සාකච්ඡාව කැ‍ඳෙව්වේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල දැනට පවතින ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙන්න. මොකද විවිධ පාර්ශව චෝදනා කරනවා පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන්වුනාට පස්සේ පෙර පැවති තත්ත්වයෙන් වැඩ කටයුතු කෙරෙන්නේ නෑ කියලා. නමුත් මම විශ්වාස කරනවා, දක්ෂ දේශපාලනඥයෝ වගේම දක්ෂ නිලධාරීනුත් ඉන්නවා. ඔබ දැන් ඉන්නේ පළාත් පාලන ආයතන වල සභාපතිවරු සහ නගරාධිපතිවරු වාඩිවෙලා හිටිය පුටුවේ. ඔබ දේශපාලනඥයෙක් නොවුනට දේශපාලනඥයෝ වගේ ජනතාවට සමීප වෙලා කටයුතු කරන්න ඕන. එතකොට තමයි ජනතාවගේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ කාලයේ නිවාඩු දින වලදීත් දේශපාලනඥයෝ වගේ ඔබ වැඩ කළොත් තමයි ජනතාවට උපරිම සේවයක් සපයන්න පුළුවන් වෙන්නේ. පළාත් පාලන ආයතන වල නාස්තිය, දූෂණය නැතිකරන්න ඔබ වැඩපිළිවෙළක් සකස්  කළයුතුයි. ඉදිකිරීම් සැලසුම් අයඳුම්පතක් ඉදිරිපත් වුනාම දින 14 ක් ඇතුළත පළාත් පාලන ආයතන කියන්න ඕන එය අනුමත කරන්න පුළුවන්ද..? බැරිද..? කියන එක. එතකොට තමයි පළාත් පාලන ආයතන ගැන ජනතාව තුළ විශ්වසායක් ඇතිවන්නේ. ඒ වගේම පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදනයට ගැටළු තියෙනවනම් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ මාසේට වඩා ලබන මාසේ ආදායම් උත්පාදනය 25% කින් වැඩිකිරීම මම බලාපොරොත්තුවෙනවා. නිවරදි තීන්දු තීරණ බය නැතිව ගන්න. මමත් මහ ඇමතිතුමත් ඔබ සමග ඉන්නවා.“

සංවර්ධනය පිළිබඳව ද අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අදහස් පළකළේය. “බොහෝ අය සංවර්ධනය කියලා හිතන්නේ භෞතික සංවර්ධනය. මානව සම්පත් සංවර්ධනය තුළින් ඊට වඩා දියුණුවක් අපිට ලබාගන්න පුළුවන්. ඒ නිසා පළාත් පාලන ආයතන වල මානව සම්පත් සංවර්ධනය පිළිබඳවත් මීට වඩා ඉදිරියේදී අවධානය යොමුකරන්න. මේ සාකච්ඡාවේදී මතුවුනා කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළුවක්. නියමිත කාලයට ව්‍යාපෘති අවසන් කරන්නේ නැති කොන්ත්‍රාත්කරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න. කිසිම ව්‍යාපෘතියක් ආරම්භ කරන්න එපා ආදායම් වියදම් බලන්නේ නැතිව. ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීමේදි මල අපවහන පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්න තියන්න එපා.ඒ වගේම පළාත් පාලන ආයතන වලට අදාළ පනත් අවුරුදු ගණනාවක් පැරණි ඒවා. ඒ නිසා නූතන කාලයට ගැලපෙන පරිදි ඒවා වෙනස් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. පළාත් පාලන ආයතන සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී නිශ්චිත ක්‍රමවේදයක් එමඟින් සකස් කරන්න බලාපොරොත්තුවෙනවා. කසළ ගැටළුව විසඳන්න සියළුම පළාත් පාලන ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ඉදිරියේදී සකස් කරනවා. අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා මහජනතාවගේ විරෝධය ඇතැම් ප්‍රදේශ වල ඇතිවෙලා තියෙනවා. ඒ නිසා සියළුම පළාත් පාලන ආයතන චක්‍ර ලේඛයක් මඟින් දැනුවත් කරන්න කසළ බැහැර කරන නිශ්චිත ක්‍රමවේදය පිළිබඳව.“

660*90

Comments:

Comments are closed.