විශේෂාංග » 25 න් පස්සේ කෙල්ලන්ට එන ප්‍රශ්න

Game description:

a27a3b73d355048c6bab885897085f62_XLකාන්තාවකගේ ඔසප්වීම නතරවීමත් සමඟ ශරීරයේ විවිධ වූ වෙනස්කම් රැසක් ඇතිවෙනවා. මේ වෙනස්කම් ඇයට ගෙන දෙන්නේ අපහසුතාවන් මෙන්ම විවිධ රෝගාබාධයන් වීමද විශේෂ කරුණක් වෙනවා.

ආර්තවහරණය සමඟ ඇතිවන දිගුකාලීන සංකූලතා අතර ඔස්ටියෝපොරෝසියාව (Osteoporosis) මෙන්ම හෘදයාබාධ සහ අංශභාගයද ප්‍රධාන තැනක් ගන්නවා.

මේ නිසා කාන්තාවන් වැඩි වයස් ගතවත්දී තම ජීවිතය සැලකිළිමත් ලෙස වෙනස් කරගත යුතු වෙනවා. එසේ වෙහෙසකට භාජනය වීම තුළින් ආර්තවහරණය සමඟ ඇතිවන දිගුකාලීන සංකූලතා තරමක් දුරට මඟහරවා ගැනීමේ හැකියාව ඇති කරගත යුතුයි.

මේ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ආර්තවහරණයත් සමඟ ඇතිවන දිගුකාලීන ප්‍රධාන සංකූලතා ලෙස හැඳින්වෙන ඔස්ටියෝපොරෝසියාව සහ හෘදයාබාධ, අංශභාග වැනි රෝග ගැන මේ කාලයේ වැඩිපුරම කථාබහට ලක් වෙනවා.

ඇට දුර්වල වීම හැඳින්වීමට යොදාගෙන ඇති විද්‍යාත්මක නාමය ඔස්ටියෝ පොරෝසියාවයි. කාන්තාවකගේ අස්ථි පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට බෙහෙවින් ඉවහල් වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. නමුත් ආර්තවහරණයත් සමඟ කාන්තාවකගේ ශරීරයේ නිෂ්පාදනය වන ඊස්ට්‍රජන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීම සිදුවෙනවා. මේ නිසා ආර්තවහරණයත් සමඟ අස්ථිවල ශක්තිමත් භාවය අඩු වෙනවා.

කෙනෙකුගේ සිරුරේ අස්ථිවල ශක්තිමත් භාවය හොඳම සමය වන්නේ වයස අවුරුදු 25 කාලයයි. ඉන් පසු කාලයේදී අස්ථිවල බර ක්‍රමානුකූලව අඩුවීමට පටන් ගන්නවා. නමුත් කාන්තාවකගේ ආර්තවහරණයෙන් පසු අස්ථි දුර්වල වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා.

කාන්තාවක් හදිසි අනතුරුවලට හෝ වැටීමකට ලක් වූ විට පහසුවෙන් ඔවුන්ගේ අස්ථි බිදීමට ලක්වෙනවා. විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් ඇති කාන්තාවන්ගේ මැණික් කටුව, කොඳුඇටපෙළ සහ උකුල් ඇටය පහසුවෙන්ම බිදීම්වලට ලක්විය හැකියි.

woman hands on stomach

උකුල් ඇටයේ බිඳීම් ඇතිවීම ඉතාම බරපතළ තත්ත්වයක් ගන්නවා. වයස අවුරුදු 70 ඉක්ම වූ කාන්තාවන්ගෙන් 25%ක් පමණ මිය යන්නේ උකුල් ඇටය බිදීම නිසා ඇතිවන විවිධ සංකූලතාවලින් බව පෙනෙන්නට තිබෙනවා. අස්ථි හොඳටම දුර්වල වී දිරාගොස් ඇත්නම් ශල්‍යකර්මයක් මඟින් වුවද යථා තත්ත්වයට පත්කළ නොහැකියි.

දුම්පානය නැවැත්වීම, මත්පැන් පානය අඩුකිරීම, කෝපි පානය අඩු කිරීම ඔස්ටියෝපොරෝසීස් ඇති කාන්තාවන් කළ යුතු වැදගත් කාරණා වෙනවා. ඖෂධ මඟින් හෝ හිරු එළිය මඟින් විටමින් “ච්” ලබා ගැනීමද කළ යුතුයි.

එමෙන්ම ව්‍යායාම මඟින් ද අස්ථිවල සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත හැකියි. කය වෙහෙසවා රැකියා නොකරන කාන්තාවක් අඩුම තරමින් සතියකට දින තුනක්වත් එක දිගට විනාඩි 45ක ව්‍යායාමයක යෙදිය යුතුයි.

යොවුන් වියේ කාන්තාවකට දිනකට කැල්සියම් මි.ග්‍රෑ 1300 ක්ද අවුරුදු 19 ත් 50ත් අතර කාන්තාවකට කැල්සියම් මි.ග්‍රෑ 1000 බැගින් ද අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවකට කැල්සියම් මි.ග්‍රෑ 1700 ක්ද ප්‍රමාණවත් වෙනවා.

ආර්තවහරණයට පෙර කාලයේදී කාන්තාවකගේ ඩිම්බ කෝෂ මඟින් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝනය මඟින් හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමේ ඉඩකඩ අවම කරනවා. පිරිමින්ට අඩු වයසින්, හෘදයාබාධ අවධානම වැඩි වශයෙන් පවතින්නේ ඔවුන්ට, ඊස්ට්‍රජන් හෝමෝනයේ ආරක්ෂාව නොමැති වීම නිසයි.

කාන්තාවගේ සිරුරේ, ආර්තවහරණය සමඟ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා සිරුරට අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම පහළ බසී.

මේ නිසා ආර්තවහරණය සමඟ කාන්තාවන් තම හෘදයේ සහ රුධිර වාහිනී පද්ධතියේ රෝග පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම රුධිර පීඩන මට්ටම 140/90ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමද ඉතාම වැදගත් වෙනවා. LDL කොලෙස්ටරෝල් මට්ටම 130ට පහළින් ද HDL කොලෙස්ටරෝල් මට්ටම 60ට ඉහළින් ද පවත්වා ගෙන යාමට සමත්විය යුතුයි.

මේ සඳහා ආහාර පාලනයත් ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත් වෙනවා. රතු මස් සහ සත්ත්ව තෙල් වර්ග ආහාරයට ගැනීම අවම කළ යුතු අතර එළවළු, පළතුරු සහ පලා කොළ වැඩිපුර ආහාරයට එක්කර ගැනීම ද කළ යුතුයි. කලබලකාරී දිවියෙන් ඉවත් වී සිරුරට අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබාදිම ද වැදගත් වෙනවා.

හෘදයාබාධ සහ අංශභාගය, ඔස්්ටියෝපොරෝසියාව වැනි තත්ත්ව වළක්වා ගැනීම සඳහා ආර්තවහරණයෙන් පසු, වෛද්‍ය උපදෙස් මත සමහර කාන්තාවන්ට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන ප්‍රතිෂ්ඨාපන (Hormone Replacement Therapy) ප්‍රතිකාරය ද ලබා දෙනවා.

දුමින්ද සම්පත්
(arogya)

660*90

Comments:

Comments are closed.